වත්මන් ආණ්ඩුව ලබාදී ඇති මාධ්‍ය නිදහස අහිමිකරගෙන අනාගතයේ දිනයක කඳුළු සලන්න එපා යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. කළුගඟ ජලාශයේ ජලය රැඳවුම් මංගල්‍යයට එක්වෙමින් ඔහු මේ බව අද සඳහන් කළේය.
“මගෙන් කෙනෙක් ඇහුවොත් ජනාධිපතිතුමා කවදද වැඩිපුරම සතුටු වුණු දවස කියලා ඔබ හිතනවා ඇති මම කියයි කියලා මම ජනාධිපති වුණු දවස කියලා. නැහැ මම මගේ ජීවිතයේ ඉහළම සතුට ලබපු දවස මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් වුණු දවස.
ඇතැම් අය අපෙන් අහනවා අපි මොනවද ආණ්ඩුවක් විදියට කෙරුවේ කියලා. මට කියන්න කනගාටුයි. නොකියත් බැහැ. කියලත් බැහැ. පසුගිය සතියේ සිට මේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම පිළිබඳව මාධ්‍ය තුළ ප‍්‍රචාරය වෙන්න ගත්තට පසුව මේ ව්‍යාපෘතියට උප්පැන්නේ දෙන්න හුඟක් අය ඉදිරිපත් වෙලා ඉන්නවා.
1994 මේ රටේ කීර්තිමත් ඉංජිනේරුවරයෙක් වූ ආචාර්ය කුලසිංහ මහත්මයා සහ ඉංජිනේරු කණ්ඩායම සමග මේ මහා කැලේට මම ඇතුල් වෙන වෙලාවේ ආචාර්ය කුලසිංහයන් සිතියම අරගෙන මෙතනින් වේල්ල හැදෙන්නේ. මෙතන ජලය රැස්වෙන්නේ. මේ මොරගහකන්ද. මේ කළු ගඟ, මෙතනින් කළු ගඟ හරස් වෙන්නේ. මෙතනින් වයඹ ඇළ හැදෙන්නේ. මෙතනින් උතුරු මැදින් ගිහිල්ලා උතුරට වතුර යන්නේ. මෙතනින් මේ විදියට ජලය ගලා ගෙන ගිහින් අනුරාධපුර, පොළොන්නරුව එහා පැත්තට ත‍්‍රිකුණාමලයට ජලය යන්නේ කියලා මේ මහා වනාන්තරයේ ගල් අස්සේ රිංග රිංග ආචාර්ය කුලසිංහයන් මේ ඓතිහාසික මහා සංවර්ධන යෝධ වික‍්‍රමය පිළිබඳව මාව දැනුවත් කරන විට ඔය උප්පැන්න දෙන්න අද කතා කරන කවුරුවත් ඒ අවස්ථාව දැකලත් නැහැ. දන්නෙත් නැහැ.
2007 ජනවාරි මාසේ 25 වෙනිදා මෙහි වැඩ ආරම්භ කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයත් එක්ක මුල්ගල තිබ්බා. වසර 05 ක් ගත වුණා. 2007 පළවෙනි අවුරුද්දේම මේ ව්‍යාපෘතියේ වැඩවලට විදේශ ණය ආධාර ගන්න මම ජපානය එක්ක කතා කළා ඒ සඳහා ජයිකා ඉදිරිපත් වුණා. චීනයේ මුල්‍ය ආයතන එක්ක කතා කළා. සල්ලි දෙන්න එකඟ වුණා. සවුදි, කුවෙට් ආයතන එක්ක කතා කළා. සල්ලි දෙන්න එකඟ වුණා. ඒ සියලූ කඩදාසි මම එදා ආණ්ඩුවට ඉදිරිපත් කෙරුවා. පළවෙනි අවුරුදු පහේ අඩු වශයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට වත් මේ ව්‍යාපෘතිය ඇතුළත් කළේ නැහැ. ප‍්‍රමුඛතාවය තියා විදේශ ණය ආධාර ගන්න ඒ ලේඛනයටවත් ඇතුළ් කළේ නැහැ.
ඒක තමයි ඇත්ත කතාව. මේකට උප්පැන්න දෙන්න කතා කරන අයට මම ආරාධනා කරනවා 2007 ඉඳලා 2012 වෙනකන් අවුරුදු 05 ක වාර්තා පුළුවන්නම් මට පෙන්වන්න කියලා. මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට මේ ව්‍යාපෘතියේ නම වත් සටහන් කළා ද කියලා. මම එදා මේ වෙනුවෙන් කඳුළු හලපු මිනිහෙක්. 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කළේ එදා මේ වගේ අසාධාරණකම් සිදු වුණු නිසා. මොරගහකන්දේ ජලය නිකුත් කරන්න තිබුණේ 2012. නමුත් ඒ කිසිවක් එදා සිද්ධ වුණේ නැහැ.
ආණ්ඩුවක් විදියට අපි කරන වැඩ. අපි කතා කරන දේවල්. පාර්ලිමේන්තුවේ කතා කරන දේවල්. මාධ්‍යවල කියන්නේ නැහැ. ඇතැම් පුද්ගලික මාධ්‍ය අවශය දේ නෙවෙයි ප‍්‍රචාරය කරන්නේ. ඇතැම් වෙලාවට අපේ කටින් පිටවෙන අනවශ්‍ය දේවල් තමයි ප‍්‍රචාරය කරන්නේ. මාධ්‍යවල තිබෙන්නේ ආණ්ඩු විරෝධී ප‍්‍රචාරය. හවසට මාධ්‍ය දිහා බලපුවහම රටේ ආණ්ඩුවක් නැහැ. මාධ්‍ය වල තිබෙන්නේ රට විනාශ වෙනවා කියලා පෙන්වන එක. මම හරි කනගාටු වෙනවා ඒ ගැන. මම පසුගිය අවුරුදු තුනහමාරේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කෙරුවේ, මිනිස්සුන්ගේ නිදහස ශක්තිමත් කෙරුවේ, මේ රටේ මාධ්‍ය නිදහස දුන්නේ සත්‍ය කතා කරන්න. සත්‍ය දේ පෙන්වන්න. නිවැරදි දේ ලෝකයට සමාජයට දෙන්න.
දේශපාලන ආරවුල්, ගැටුම්, වැඩක් නැති අනවශ්‍ය අසීලාචාර කතන්දර වලට ප‍්‍රමුඛත්වය දෙන්න නෙවෙයි. අද අපිට අවහිර කරන අපේ වැඩවලට නිසි ප‍්‍රචාරයක් නොදෙන මාධ්‍ය මිත‍්‍රයින්ට, මාධ්‍ය ප‍්‍රධානීන්ට මම බොහෝම ගෞරවයෙන් කාරුණිකව කියනවා අපිට ගහලා, අපිව දුර්වල කරලා, අපිව විනාශ කරලා, අපිව ඇද දමලා දුන්නු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරගෙන දීලා තිබෙන මිනිස් නිදහස නැති කර ගෙන, දීලා තිබෙන මාධ්‍ය නිදහස නැති කරගෙන නැවත දවසක කඳුළු හළන්න එපා. අපි ඉපදෙනවා වගේම මැරෙන මිනිස්සු. ජීවත් වෙලා ඉන්න කාලය තුළ නිවැරදි දේ කිරීම, ජාතියට සේවය කිරීම, මිනිසුන්ට සේවය කිරීම, දුප්පතාගේ දුක හඳුනා ගැනීම, මිනිසුන්ගේ කඳුළු දහඩිය වේදනා ඒ සියල්ල හඳුනාගෙන ඒවාට විසඳුම් දීමයි ආණ්ඩුවක අවංක සහ පවිත‍්‍ර චේතනාව විය යුත්තේ. මේ ව්‍යාපෘතිය කෝටි 23,000 කට ආසන්නයි. මේ ඉන්න ආදරණීය ගොවි නායකයින්ට ගොවි සංවිධානවල වෙනත් විවිධ ස්වෙච්ඡා සංවිධානවලට මම කියනවා මේ යෝධ ව්‍යාපෘතිය මගේ යටතට අරගෙන වසර තුනහමාරකට වැඩියි. මේ කාලසීමාව තුළ මේකේ දූෂණ වංචා හොරකම් තියනවයි කියලා මට කිසිම තැනකින් කියනවා ඇහුනේ නැහැ. මම ඒ ගැන සතුටු වෙනවා.
මේ කෝටි 23,000 කට ආසන්න මුදල වැය කරන විට මෙහි ජලාශ, මහ ඇළවේලි, වැව්, උමං ආදි ඉදි කරද්දි, කොහේ හරි කවුරු හරි නියමිත ප‍්‍රමිතියෙන් තොරව කොන්ත‍්‍රාත් කරනවා නම් කොන්ත‍්‍රාත් කරුවන් පිළිබඳව මට පුද්ගලිකව පැමිණිලි කරන්න කියලා මම සියලූ ගොවි නායකයන්ගෙන් ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඉදිකිරීම්වලදි දූෂණ වංචා සිදු වෙනවා නම් මට පුද්ගලිකව පැමිණිලි කරන්න. මේ ව්‍යාපෘතිවල දූෂණ වංචා සිදුකළොත් කිසිම දේශපාලනඥයෙකුටවත්, කිසිම රාජ්‍ය නිලධාරියෙකුටවත් කිසිම කොන්ත‍්‍රාත් සමාගමකටවත් මම කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඒවගේම ඒ අයට දෙන්න තිබෙන ඉහළම දඬුවම මම ලබා දෙනවා. මම ලබන සතියේ සිට මේ පැමිණ සිටින ඔබට වගේම මේ ගොවි බිම් වල ජීවත් වන පළාත් පහක හයක ජනතාවට වගේම මුළු රටේ ජනතාවට විශේෂ ඒකකයත් හඳුන්වා දෙනවා.
මාධ්‍ය හරහා විශේෂ දුරකථන අංක සමග විශේෂ ෆැක්ස් අංක එක්ක මේ ව්‍යාපෘතියේ කොහේ හරි දූෂණ වංචා සිදු වෙනවා නම් වහාම ඒවා දැනුම්දීම සඳහා වෙනම ඒකකයක් ගොවි ජනතාව වෙනුවෙන් විවෘත කරනවා. ඔබට පුළුවන් ඒ සඳහා තොරතුරු ලබා දෙන්න. ඒ ගැන මම විශේෂෙයන්ම මතක් කරන්න ඕනෑ.
මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය කැප වීමෙන් ආරම්භ කළා වගේම උසස් ප‍්‍රමිතියකින්, හොඳ නිර්මාණයකින් ඉදිරියට ශක්තිමත්ව ඉදිකිරීම් කටයුතු කරගෙන යෑම අවශ්‍යය යි. මේ මහා යෝධ ව්‍යාපෘතිය ඉතාමත්ම පවිත‍්‍රව, දූෂණයෙන් වංචාවෙන් තොරව ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ සෑම කෙනෙක් කෙරෙහිම මම විශ්වාසය තබනවා. ඒ විශ්වාසය කඩන්න එපා කියලා මම ගෞරවනීය ඉල්ලීමක් කරනවා. කෙනෙක් ඒ විශ්වාසය කැඩුවොත් මේ යෝධ ව්‍යාපෘතියෙන් රුපියලක් සොරකම් කළත් කෝටියක් හොරකම් කළත් එය ජාතියේ ශාපයට ලක් වෙනවා.”